Pages

Friday, April 6, 2012


සෙව්වන්දියකට පෙම් බැන්දා

දෑස නොපෙනුණත් ජය ලැබුවා

මඟුල් බෙර වැයුණි. සුවනි චරිත් දෙස බලා සිනාසුණාය. ඔහුට ඈ නොපෙනුණි. ඒ පැළඳ සිටි කළු උපැස් යුවළ නිසා නොව දෑස් අඳ නිසාය. ඒ අන්ධකාරය ඔහුට උපතින් හිමිවූවක් නොව යුද්ධයේ කෲරත්වය නිසා දායාද වූවකි. 2008 නොවැම්බර් 18 වැනිදා සිදුවුණු කිලාලි බෝම්බය ඔහුට අද මෙන්ම මතකය. සිය දකුණත මෙන්ම දෑස ද අමානුෂික ලෙස ඔහුගෙන් උදුරාගත්තේය. ඒ අතීතය සිත වේදනාවට පත් කළේ නිරන්තරයෙන්. සිදුවූ දේ සිදු වී හමාරය. සෑම දිනක් ම ගෙවී ගියේ අන්ධකාරයේය. ආලෝකයට වඩා ඔහුට අඳුර හුරුපුරුදුය. ආවේ කවුද? ගියේ කවුද කියා ඔහු හඳුනාගත්තේ හඬින් පමණි. එදා මෙන් ඕනෑකමට කඩිසරව පියමං කළ නොහැකිය. උදව්ව අත්වාරුව නැතිව කෙලෙසකවත් දුරයා නොහැකිය. එදා මෙදා තුර තම සෙවණැල්ල ලෙස සිටියේ දයාබර මවුපියන් දෙපළ සහ නැඟණිය පමණි. අද කෙසේ හෝ දිවි ගෙවා ගැනීම විනා ඔහුට හෙටක් පිළිබඳ කල්පනා කිරීමට අවශ්‍ය නොවුණි. මේ අතරතුර රාගම රණවිරු සෙවණට යාමට චරිත්ට අවස්ථාව ලැබුණි. ඉඳහිට සුදු සැරයටි වාරුවෙන් ටවුමට ගියා විනා අන්තැනකට යාමට අවකාශ නොවීය.
සුවනි චරිත් නව යුවළ මැති ඇමැතිවරු සමග
වාහන තදබදය නිසා පිරී යන රාගම ටවුමේ දෑස් නොපෙනෙන්නකුට තියා ඇස් පෙනෙන අයටවත් මාරුවීමට අපහසුය. එදා ද මාර්ගයේ පැවැතියේ නොසන්සුන්තාවකි. චරිත් එහාට මෙහාට හිමින් හිමින් පිය මැන්නේය. එහෙත් පාර මාරුවීමට කිසිවෙක් උදව් කරන සේයාවක් නොතිබුණි. ඔහු වාහන හඬට දෙසවන් යොමු කළේය. තොරතෝංචියක් නැතිව එහා මෙහා ඇදෙන වාහනවල නැවැතුමක් නැත. පාර මාරුවීමට කිසිදු අවසරයක් නැත. චරිත් පාර අබියසම රැඳුණේය.


මෙතෙක් වෙලාවක් පාර මාරුවීමට බලා සිටින දෑස් අඳ සෙබළා දෙස සුවනි බලා සිටියේ බොහෝ වේලාවක සිටය. ඇගේ හදවත දයාවෙන් පිරුණි. අපේ ජීවිත රකින්නට යුද වැදුන ඔවුන් ගැන සුවනිගේ තිබුණේ ළෙන්ගතුකමකි. ඈ දෙවරක් නොසිතුවාය. ඇය ඉක්මනින් ම ඔහු සමීපයට පැමිණියාය. ඉතිරිව තිබූ ඔහුගේ එකම අතින් අල්ලා පාර මාරුවීමට උදව් කළාය. වචනයෙන් කියාගන්න බැරි සෙනෙහසක් ඇගේ සිතේ තැන්පත් විය. “ස්තූතියි” ඔහු හිස සැලුවේය එහෙත් ඈ කවුද? ඔහුට නොපෙනුණි. ඇයට ඔහු හොඳ හැටි පෙනුණි. හදිස්සියේ වුවද දුරකථන අංක ඉල්ලා ගැනීමට ඇය අමතක නොකළාය. ඉඩලද හැම විටකම ඔහු ඇමැතීමට ඇය හුරුවූවාය. ඔහුගේ සිතට එය මහඟු අස්වැසිල්ලකි. එහෙත් කවදාවත් ඈ හිමිකර ගැනීමට නොහැකිවනු ඇත.
මේ අතරතුර අභිමංසල ලැගුම් ගැනීමට ඔහුට ඉඩ ප්‍රස්ථාව ලැබුණි. දුර බැහැර වුවත් ජංගම දුරකථනය ප්‍රේමයට ආශීර්වාදයක් විය. සුවනි සෙව්වන්දිට අවුරුදු 18 පිරුනා පමණි. චරිත් 23 හැවිරිදිය. ඇති තතු ඇති සැටියෙන් සුවනිට පැහැදිලි කළ ද, චරිත් කියූ කිසිවක් සුවනි ඇසුවේ නැත. ඇයට චරිත් ම වුවමනා විය. සැබෑ ආදරය නම් එයම විය. සුපුරුදු ලෙස මවුපියන් එරෙහි විය. බොහෝ දෙනා ගැලපෙන නොගැලපෙනකම් ගැන කරුණු දැක්වූහ. සුවනිට මින් එකක්වත් වගක් නොවුණි. චරිත කෙසේ හෝ ලබාගන්නා තිර අදිටනින් ඈ කල් යැවුවාය. ඇය හැඬුවාය. සුසුම් ලෑවාය. එහෙත් ඔහු වෙනුවෙන් ම බලා සිටියාය. දුරකථන සංවාද මේ අතරතුරත් කෙළවරක් නැතිව ඇති විය. ඈ ඔහු ලබාගන්නා තෙක්ම සිහින දුටුවාය. මේ අතරතුර ඔවුන්ගේ ආදරය පිළිබඳ සුවනි දුරකථන මාර්ගයෙන් අහිමංසල ප්‍රධානී ලුතිනන් කර්නල් කනිෂ්ක බණ්ඩාර ට දැන්වූවාය. ඇගේ මේ ඉල්ලීම පිළිගත් ඔවුහු ඇගේ දෙමවුපියන් මුණ ගැසීමට ගියහ. මුලදී අකමැත්තක් පෙන්නුවද කරුණු පැහැදිලි කිරීමෙන් පසු වැඩිහිටි කැමැත්ත ලැබුණි. ඔවුන්ගේ ආදරය සෙනෙහසට මවුපිය ආශීර්වාදය ලැබීම දෙදෙනාටම සතුටකි. ඔවුහු දුරකථන සංවාදවලදී තම සතුට බෙදා ගත්හ. හැමෝගේම ආශීර්වාද මැද ඔවුන්ගේ විවාහයට දින වකවානු යෙදුණේ ඒ අයුරිනි.
ඈ මනාලියක වූවාය. ඔහු මනාලයෙක් වූවේය. ආසිරි ගී මැද ඔවුහු විවාහ වූහ. නව දිවියට සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤා නන්ද නාහිමි, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, මිරිසවැටි චෛත්‍යරාමාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමි වැඩම කළහ. සෙත් පිරිත් කියා ආශීර්වාද කළ හිමිවරු දෙපළ ගේ නව දිවියට නිදුක් නිරෝගී සුව පැතූහ.
මංගල පෝරු, ආසිරි ගී මේ සෑම දෙයක්ම ඔවුහු සතුටින් විඳ දරා ගත්හ. හමුදාපති ජගත් ජයසූරිය මහතා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.
සැබෑ ආදරය සැබැවින් ආශිර්වාද ලද්දේය. සුවනි පැතූ දිනය එලෙසම උදා විය. හැමදෙනාගේම උපකාර නව යුවළට ලැබුණි. සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා වනජීවී හා ගොවිජන සේවා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, වාරිමාර්ග හා ජලකළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඔහුට දෑස හා සුරත අහිමි වී තිබුණත් එතෙක් ඔහු පැතූ සෙනෙහස ඔහුට හිමි විය. ආදරය යනු වත්පොහොසත්කම් නොව අවබෝධය සහ අවංක සිතුවිල්ලයි. සුවනි සෙව්වන්දි එය පසක් කළාය.
ඇගේ දයාබරත්වය අපි අගය කළෙමු. ඈ මුලු මහත් කාන්තා පරපුරටම ආදර්ශයකි.
ඩිමෝ සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා අංග සම්පූර්ණ නව නිවෙසක් ඔවුන්ට ලබාදීමට පොරොන්දු විය. සුවනි ගේ පැතුම් මල්ඵල ගැන්විණි. ඈ සිනාසුණාය. යුද්ධය සාපයකි. එයින් අනාථ වූවෝ බොහෝය. එහෙත් ඔවුන් දෙස සානුකම්පිතව බැලීම අපගේ යුතුකමකි. ඈ අපේ කාලේ වීරවරියකි.
සුවනි... චරිත්...ඔබ දෙපළට සුවබර දිවියක්. සිළුමිණ පැතුම එයයි.

No comments:

Post a Comment