සිනා කතා |
අතින් ද කටින් ද?
ගන වනාන්තරය වෙත ගොස් පුරා රැයක් නිදි වර්ජිතව එහි රැඳී සිටිමින් අලි ඇතුන් ප්‍රමුඛ විවිධ වර්ගයේ වන සතුන් සිතපුරා නැරඹීමට කතිකා කරගත් පියල් සහ ජයරත්න එක් සති අන්තයක හවස් යාමයේ එවන් වනාන්තරයකට පිවිස උස ගස් දෙකකට නැඟ ගස් දෙබලක වාඩි ගත්තේ ආරක්‍ෂාව සඳහා තුවක්කු ද අතැතිවය.සෝදිසියෙන් වනය දෙස බලා සිටි පියල් හදිසියේම දුටුවේ ගස් අතරින් මතුව ඉදිරියට එන ඉතා රූමත් කාන්තාවකි. දෙවඟනක බඳු ඇගේ රූපශ්‍රීයෙන් වශීවී ඔහු ඈ දෙස ඇසිපිය නොහෙළා බලා සිටිද්දී කොහේදෝ සිට එතැනට කඩා පාත්වූ වලසකු ගොරවමින් ඇය වෙත කඩා පනින්නට සූදානම් වෙනවා දැක වහා තුවක්කුව මානා වලසා ඉලක්ක කොට වෙඩි තැබීය. හරියටම හිස මැදට වැදුණු වෙඩිල්ලෙන් වලසා කපාහෙළූ ගසක් මෙන් බිම ඇද වැටී මිය ගිය අතර තරුණියද බියෙන්ම විසඥ වූවාය.
වහා ගස්වලින් බැසගත් පියල් සහ ජයරත්න තරුණිය වෙත ළංවූ සැණෙන් ජයරත්න දිගු කළ වතුර බෝතලයෙන් වතුර ස්වල්පයක් පියල් තරුණියගේ මුහුණට ඉස්සේය. ස්වල්ප වේලාවකින් ඇස් හැර බැලූ තරුණිය පියල් දෙස කෘතඥතා පූර්වකව බලා ඉතා සුන්දර සිනාවක් පා මෙසේ ඇසුවාය.
’මට කියන්න ඔබ මොන අතින්ද ඒ භයානක සතාව මැරුවේ?’
පියල් කතාවකින් තොරවම තම සුරත ඔසවා තරුණියට පෑවේය. ඈ මහත් භක්තියකින් තම දෙතොල පියල්ගේ සුරත මත තබා තදින් සිප ගත්තේය.
’යකෝ උඹනං මහ මැටි මෝලෙක්. උඹට කියන්ඩ තිබුණේ උඹ වලහව කටින් කීතුකරලා මැරුවා කියලනෙ.’ ආපසු එද්දී පියරත්න පියල් හට කීවේ කෝපයෙනි.
දැනුමෙන් වැඩක් තියෙනවද?
කොල්ලුපිටිය හන්දියේ සේවයේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනකු වෙත පැමිණි විදේශ සංචාරකයකු ඔවුන් දෙදෙනා අමතා කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයකට යන ආකාරය ඉංගි‍්‍රසි බසින් විමසීය. සංචාරකයා පාරක් තොටක් පිළිබඳව විමසන බවක් හැඟී ගිය නමුදු පොලිස් භටයෝ දෙදෙනාම ඊට පිළිතුරු දීමට නොහැකිව මුහුණට මුහුණ බලා ගත්හ.මද වේලාවක් පිළිතුරක් අපේක්‍ෂාවෙන් ඔවුන් දෙස බලා සිටි සංචාරකයා එම පැනයම දෙමළ බසින් ඇසුවේය.
අවාසනාවකට පොලිස් භටයන් දෙමළ වචනයක්වත් දැන සිටියේ නැත.
අනතුරුව ජර්මන්, ප්‍රංශ ආදී යුරෝපීය භාෂා හතරකින් එම පැනයම විමසූ නමුත් ඔවුන්ගෙන් එයට පිළිතුරු නොලැබෙන බැව් වටහා ගත් සංචාරකයා ඉවත ගියේ හිතෙන් බැණ වදිමිනි.
ඈත යන සංචාරකයා දෙස බලා සිටි එක් පොලිස් භටයෙක්, අනෙකා දෙස බලා මහත් පසුතැවිල්ලකින් මෙන් මෙසේ කීවේය.
’බලපං බං. ඒ මනුස්සයා භාෂා හයක් කථා කළා. අපිට බැරි වුණානෙ තව එක භාෂාවක් ඉගෙන ගන්ඩ.’
’ඉතින් ඒකෙ තියෙන අඩුව මොකක්ද? භාෂා හයක් දැනගෙනත් ඒ යකාට ඔය දැනුමෙන් අඩුගණනෙ පාරක්වත් අහගන්ඩ පුළුවන් වුණාද?’ අනෙකා පිළිතුරු දුන්නේ උජාරුවෙනි.
ළිඳ
කීර්ති තම අලුත් නාට්‍යයේ පිටපත ලියා අවසන් කර ලියන මේසයෙන් නැගිට්ටේ, දෑත් දෙපසට විහිදා ඇඟමැලි කඩා නිළියක වූ තම බිරිය දෙස සතුටින් බලමිනි.’පිටපත නම් හොඳට ලියවුණා කෙල්ලෙ. මේක දුවන්ඩ නම් හොඳ නමක් දාන්ඩ ඕනෙ.
මේ පිටපතේ ලොකු ගැඹුරක් තියෙනවා. නාට්‍යයේ නම ඒ ගැඹුරට ගැළපෙන්ඩත් ඕනෙ. නමෙන් ඒ ගැඹුර පිළිබිඹු වෙන්ඩත් ඕනෙ. ඒ වගේම නම කෙටි වෙන්ඩත් ඕනෙ. එතකොට තමයි මේ නාට්‍යය ප්‍රේක්‍ෂකයො වැළඳ ගන්නෙ.’ කීර්ති තම ඇස් ලොකු කොට උරහිස් ගස්සා තම බිරියට කීවේය.
’නම කෙටි වෙන්ඩත් ඕනෙ නම්, ඕකෙ ඔය කියන තරං ගැඹුරකුත් තියෙනවා නම් ‘ළිඳ’ කියල දාමු.’ බිරිය කීවාය.
No comments:
Post a Comment